දැන් උත්සව කාලෙත් ලග ලගම එනවනේ ඉතින් අද අපි ගෙනාවෙ පොඩි වම්බටු වලින් හදන රසවත් වම්බටු කරියක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- හොද දම් පැහැති පොඩි වම්බටු ගෙඩි 8ක්.
- අබ ඇට තේ හැදි බාගයක්
- මාදුරු ඇට තේ හැදි කාලක්
- සූදුරු ඇට තේ හැදි කාලක්
- කරපිංචා කිනිති 3ක්
- සිහින්ව කොටු කපාගත් බී ලූනු ගෙඩි 2 ක්
- දෙහි ඇඹුල් බින්දු දෙක තුනක්
- එළවළු තෙල් මේස හැදි 6ක්
අඹරාගත යුතු පහේ පේස්ට් එක
- රතුලූනු ගෙඩි 7ක්
- ඉදුණු තක්කාලි ගෙඩි 2 ක්. හතරට පහට කපාගන්න.
- ඉගුරු අගලක කැබැල්ලක්
- සුදුලූණු බික් 4ක්
- කජුමද 5ක්
- ගාගත් පොල් කෝප්ප බාගයක්
- මිරිස් කුඩු තේ හැදි 3ක්
- කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක්
- කහ කුඩු තේ හැදි බාගයක්
- ලුණු තේ හැදි 1ක්
- සීනි තේ හැදි 1ක්
ඉහත සදහන් ටික බ්ලෙන්ඩරයට දමා තනි පේස්ට් එකක් වන සේ සිහින්ව අඹරා පසෙකින් තබාගන්න.
සාදාගන්නා ආකාරය
- පොඩි වම්බටු ගෙඩිවල එහි දිග අතට කැපුම් හතරක් දමන්න. ගෙඩිය වෙන් නොවනසේ.
- දැන් මේ කපාගත් වම්බටු වල කැපුම් පාරවල් අතරින් සාදාගත් පේස්ට් එකෙන් ටික ටික ගෙන දමන්න. ඇතුලට පේස්ට් එක අල්ලන ලෙස දාගන්න. ඉතිරි පේස්ට් ටික වෙනම තබාගන්න.
- දැන් තාච්චියක් ගෙන එයට තෙල් මේස හැදි 6ය දමන්න. තෙල් රත්වෙද්දී අබ දමන්න. අබ පුපුරද්දී එයට සූදුරු සහ මාදුරු දමන්න.
- මාදුරු ඇට පුපුරද්දී එයට කරපිංචා දමන්න. කරපිංචා පුපුරද්දී එයට ලියාගත් ලූනු ටික දමා විනාඩියක් පමණ තෙම්පරාදු කරන්න.
- දැන් මේ තෙලට අපි පේස්ට් එක පුරවාගත් පොඩි වම්බටු ටික දමන්න. තෙලේ හොදින් බැදෙන සේ හැන්දෙන් එවා ටිකක් තද කරන්න. තෙලෙන් හොදට තෙත් කරන්න. ගින්දර මධ්‍යම තරමින් තියාගන්න.
- විනාඩි 5ක් පමණ පිසින්න. දැන් මේ තෙම්පරාදුවට අපි හදාගත් පොල් පේස්ට් එකේ ඉතිරි ටික දමන්න. පරිස්සමින් එය තෙම්පරාදුව සමග මිශ්‍ර කරන්න.
- දැන් ලිපේ දැල්ල ටිකක් අඩුකර පියන වසන්න. පේස්ට් එක හොදින් ඉදී වම්බටු ද හොදින් ඉදෙන තෙක් පිසින්න. විනාඩි 12ක් පමණ යද්දී මේ සියල්ල ඉදී තෙල් කරියේ උඩ වෙන්වී තිබේවි.
- දැන් දෙහි බිංදු ටිකක් ඉස උඩින් අලුත් කරපිංචා කොළ ටිකක් හෝ කොත්තමල්ලි කොළ ටිකක් දමන්න.
- තවත් පැය බාගයක් පමණ වසා තබා පිලිගන්වන්න.
මේ උත්සව කාලෙ ඔයාලත් හදල අමුත්තන්ට පිලිගන්වන්න කට්ටිය පුදුමත් වෙයි.
Comments
Post a Comment