1. තක්කාලි තෙම්පරාදු හොද්ද...
ඉදුනු තක්කාලි ගෙඩි 4 ක් ගන්න. හතරට පලාගන්න. ලූනු ටිකක් අමුමිරිස් ටිකක් ලියාගන්න. අබ තේ හැදි 1/2 ක් සූදුරු තේ හැදි 1/2 ක් එකට දාල අඹරා ගන්න. සාස්පානක් අරගෙන එයට තක්කාලි, ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පා පොඩි කැබැල්ලක්, උලුහාල් තේ හැදි 1/4ක්, කහ තේ හැදි 1/2 ක්, මිරිස් කුඩු තේ හැදි 2 ක්, අඹරාගත් අබ සූදුරු මිශ්‍රණය, ලියාගත් සුදුලූනු බික් 4 ක්,කුරුදු පොතු කැබැල්ලක් දාන්න. එයටම ලුණු තේ හැදි 1 ක් දමන්න. දැන් මේ තක්කාලි ටිකට හොද මිටිකිරි කෝප්ප 2 ක් දාන්න. එහෙම දාල හොදට අතගාල ලිපේ තියන්න. විටින් විට හැදි ගාන්න. හොද්ද උතුරාගෙන එනකොට ටිකක් වැඩියෙන් හැදිගාන්න. හොද්ද කැටි වුනොත් තක්කාලි වල ඇඹුල් රසය ඉස්මතුවෙන්න ගන්නවා. ඒනිසා හොද්ද ටික වේලාවක් උතුරුවාට පස්සේ ලිප වහන්න. දැන් සාස්පානේ තියෙන හොද්ද වෙන බදුනකට මාරුකරල එම සාස්පානටම පොල්තෙල් මේස හැදි 1 1/2ක් දාන්න. එයට ලියාගත් ලූනු ගෙඩි 1/2 ක් සමග අබ තේ හැදි 1 ක් දාන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට වියලි මිරිස් කරල් 2ක් කඩලා දාන්න. විනාඩියක් තෙම්පරාදු කරල එකට කරපිංචා ඉති 2ක් දාන්න. දැන් මේ තෙම්පරාදුවට අවශ්‍යනම් කෑලිමිරිස් තේ හැදි 1ක් දාන්න. තවත් තත්පර 30ක් තෙම්පරාදු කර එයට හදාගත් හොද්ද එකතු කරන්න. උණු උණුවේම පිළිගන්වන්න.
2. ගැට තක්කාලි හාල්මැස්සන් හොද්ද...
ගැට තක්කාලි ගෙඩි 5ක් හතරට පලාගන්න. ඒක මැටි හට්ටියකට දාල එයට හොදින් සුද්දකරගත් හාල්මැස්සන් ග්‍රෑම් 100ක් දාන්න. ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පා කැබැල්ලක්, උලුහාල් තේ හැදි 1/4ක්, කහ තේ හැදි 1/2ක්, මිරිස්කුඩු තේ හැදි 2ක්, අඹරාගත් අබ සූදුරු ගුලියක්, ලියාගත් සුදුලූනු බික් 4ක්, කුරුදු පොතු කැබැල්ලක්, ලුණු තේ හැදි එකක් දමන්න. මේ ටිකට දෙහි බෑයක ඉස්ම දමා හොදින් අතගාන්න. අතගාල විනාඩි 10ක් තියන්න. ඉන්පසු එයට මිටිකිරි අඩු කොප්ප 2ක් දමා ලිපේ තියන්න. දෙවරක් හොද්ද නැටූ පසු බාගන්න. මේ වගේ හොද්දක රස උණු උණුවේම වැඩියි.
3. තක්කාලි ලූනු තෙම්පරාදුව...
තරමක් ඉදුණු තක්කාලි ගෙඩි 4ක් , බීලූනු ගෙඩි 3ක් ලියාගන්න. අමුමිරිස් කරල් 4ක් ද්ග අතට පලාගන්න. සිදුලූනු බික් 2ක් තලාගන්න. දැන් තාච්චියක් ලිපේ තබා එයට පොල්තෙල් මේස හැදි 2ක් දමන්න. තෙල් රත්වීගෙන එද්දි එයට අබ තෙ හැදි 1ක් දමන්න. අබ ඇට පුපුරාගෙන එද්දි එයට වියලි මිරිස් කරල් 3ක් කඩාදාන්න. ඒ සමගම කරපිංචා දමා විනාඩියක් තෙම්පරාදු කර එයට ලියාගත් බීලූනු ටික දමන්න. බීලූනු ටික විනාඩි 3ක් තෙම්පරාදු කරන්න. දැන් සුදුලූනු ටික දාන්න. විනාඩි 3ක් මද්‍යම ප්‍රමාණයේ ගින්දරෙන් පිසින්න. දැන් ඒකට කෑලිමිරිස් කුඩු තේ හැදි 2ක්, මිරිස් කුඩු තෙ හැදි 1ක්, කහ කුඩු තේ හැදි 1/2ක් දාන්න. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගන්න. විනාඩි 2 කට පසු තක්කාලි ටික දාන්න. හොදින් මිශ්‍රකර ලුණු දමන්න. පසුව ලිපේ ගින්දර අඩුකර මද ගින්නේ විනාඩි 10ක් පිස ගන්න. විනාඩි 10න් පසු හොදින් තෙල් වෙන්වෙලා රස තක්කාලි ඇඹුල් බැදුමක් ඇවිත් තියේවි.
4. තක්කාලි සාම්බාරුව...
තක්කාලි ගෙඩි 4ක් හතරට කපාගන්න. ඔයාල ලග තියෙන ඕනම එලවලුවක් කපලාගන්න. ඒ කියන්නේ වම්බටු, මුරුංගා කරලක්, වට්ටක්කා කෑල්ලක්, කැරට් ගෙඩියක් වගේ ඉතුරු වුන ඕනම දෙයක්. දැන් පරිප්පු හුන්ඩු 1/4 ක් අරගෙන ඒකට වතුර කෝප්ප 2ක් කහ ටිකක් ලුණු ටිකක් දාලා හොදින් තැම්බෙන්න තියන්න. තැම්බුනාට පස්සේ එයට තවත් වතුර කෝප්පයක් දාලා පරිප්පු ටික හොදට පොඩි කරගන්න. එහෙම කරලා පරිප්පු සාරුවක් සාදාගන්න. දැන් ලොකු සාස්පානක් ලිපේ තියලා තෙල් මේස හැදි 2ක් දාන්න. තෙල් රත්වීගෙන එනකොට වියලි මිරිස් කරල් 4ක් කරල් පිටින්, අබ ඇට තේ හැන්දක්, සුදුලූනු බික් 2ක් යන්තමට තලලා සහ කරපිංච දමා විනාඩි 2ක් තෙම්පරාදු කර එයට කපාගත් එලවලු ටික දමන්න. විනාඩි 2ක් එලවලු ටික තෙම්පරාදු කර තක්කාලි ටික දමන්න. හොදින් මිශ්‍රකරන්න. දැන් විනාඩි 3ක් තෙම්පරාදු කරන්න. ඉන්පසු එයට මිරිස් කුඩු තේ හැදි 2ක්, කහ කුඩු තේ හැදි 1/2ක් දාන්න. සාම්බාරු මසාල තියෙනවනම් එයිනුත් තේ හැදි 1ක් දාන්න. මේ ටික හොදින් මිශ්‍රකර වතුර කොප්ප 1ක් දමා ලුණු දමා තැම්බෙන්න තියන්න. විනාඩි 10 කට පසු මේ මිශ්‍රණයට සාදාගත් පරිප්පු සාරුව දාන්න. එයටම සීනි තේ හැදි 1ක් දමා මිශ්‍රකරන්න. පියන වසා විනාඩි 10ක් මදගින්නේ පිසින්න. විනාඩි 10කට පස්සේ තක්කාලි සාම්බාරුව රෙඩී.
ඔයාලත් මේ රස 4 ම ට්‍රයි කරල බලන්න.
Comments
Post a Comment