අද රෙසිපිය ගේන්නේ අපේ පොඩ්ඩන්ට. පොඩ්ඩන්ට වගේම ලොකු අයටත් මේක රසවත් කෑමක්. අපේ පොඩ්ඩෝ කොහොමත් කෑමට ටිකක් හොරයිනේ. ඒක අපේ අම්මල අත්දැකීමෙන් දන්න දෙයක්. අද අපි රස රහස් පේජ් එකෙන් ගෙන එන්නේ ඉදිආප්ප කන්න අකමැති පොඩ්ඩොන්ට ඉදිආප්ප කවාගන්න පුළුවන් රසවත් විදිහක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය
- අතින් පොඩියට කඩාගත් සුදුකැකුළු ඉදි ආප්ප කෝප්ප 1 ක්.
- බටර් තේ හැදි 2 ක්.
- අබ තේ හැදි කාලක්. පොඩ්ඩ ආස නැත්නම් අඩුවෙන් දාන්න.
- කෑලි කජු තේ හැදි 2 ක්.
- සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැදි බාගයක්.
- ලියාගත් අමුමිරිස් කරල් බාගයක් - දැවිල්ල කන්නෙ නැති බබාලට නොදා ඉන්න.
- කරපිංචා ස්වල්පයක්.
- දෙහි බිංදු 4ක් 5ක්.
- කහකුඩු තේ හැදි කාලක්.
- රස අනුව ලුණු
- සීනි තේ හැදි බාගයක්.
- පොල් කිරි හෝ සාමාන්‍ය දියර කිරි මේස හැදි 2 ක්.
සාදාගන්නා ආකාරය
- පිරිසිදු සාස්පානක් ගන්න. එයට බටර් ටික දමන්න. බටර් රත්වීගෙන එද්දී එයට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී එයට කෑලි කජු සහ කරපිංචා දමන්න.
- කරපිංචා පුපුරද්දී එයට අමුමිරිස් සහ ඉගුරු ටික දමන්න.
- විනාඩියක් පමණ මදගින්නේ තෙම්පරාදු කරන්න.
- දැන් එයට කහකුඩු ටික දමා මිශ්‍ර කරන්න.
- දැන් පොඩිකරගත් ඉදි ආප්ප ටික තෙම්පරාදුව උඩින් දමන්න. ඒ උඩින් ලුණු කුඩු, දෙහි බිංදු , සීනි සහ පොල්කිරි ටික දාන්න. ගින්දර ටිකක් වැඩිකර හොදින් මිශ්‍ර කරමින් පිසින්න.
- ඉක්මනින් ලිපෙන් බාගන්න. තක්කාලි සෝස් හෝ කුකුල් මස් හොදි සමග පොඩ්ඩට දෙන්න.
අවශ්‍ය නම් මස්, මාළු, බිත්තර එකතු කරගන්න පුලුවන් . මේ වගේ බටර් ඉදි ආප්ප තෙම්පරාදුවක් හැදුවම අවශ්‍ය කරන පෝෂණය පොඩ්ඩට ලැබෙනව. බත්ම කන්න ඕනි නෑ. ඒ වගේම ලොකු අයටත් රසවත් කෑමක්. ඔයාලගෙ පොඩ්ඩන්ටත් හදල දීල බලන්නකෝ කන ලස්සන.
Comments
Post a Comment