සූපවේදී ගයන්ත මද්දුමගේ විසින් ඉදිරිපත් කරන රහස් කෑම වට්ටෝරු ලිපි මාලාවෙන් උපුටා ගත් රසවත් රහස් කෑම වට්ටෝරුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ.
රතුලූනු කලුපොල් කරිය.
රතුලූනු කරිය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ...
- පොතු හැර දෙකට පලාගත් රතුලූනු කෝප්ප 2 ක්. (250g පමණ)
- ලියාගත් අමු මිරිස් කරල් 2 ක්.
- කරපිංචා අහුරක්.
- සියඹලා පේස්ට් මේස හැදි 2 ක්.( දෙහි ගෙඩියක් තරම් සියඹලා ගුලියක් ගෙන වතුර කෝප්ප කාලක දියකර ඇට ඉවත් කර පෙරා ගන්න.)
- සිහින්ව ලියාගත් කිතුල් හකුරු මේස හැදි 2 ක්.( සිහින්ව ලියාගත් හකුරු වතුර කෝප්ප කාලක දියකරගෙන හකුරු සිරප් එක හදාගන්න. )
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට.
- වතුර අඩු කෝප්ප 1 ක්.
- පොල් තෙල් මේස හැදි 2 ක්.
කබලේ බැදගෙන කුඩුකරගත යුතු මිශ්‍රණය...
- සිහින්ව ලියාගත් පොල් කෝප්ප 1 1 /2 ක්.
- සූදුරු තේ හැදි කාලක්.
- කහ තේ හැදි බාගයක්.
- මිරිස් කුඩු තේ හැදි 2 ක්.
- කොත්තමල්ලි කුඩු තේ හැදි 3 ක්.
- වතුර කෝප්ප කාලක්.
තෙම්පරාදුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය ...
- පොල් තෙල් මේස හැදි 2 ක්.
- සූදුරු තේ හැදි කාලක්.
- පොල් කෑලි මේස හැදි 2 ක්.
- කරපිංචා ඉත්තක්.
- කඩාගත් වියළි මිරිස් කරල් 3 ක්.
- අබ ඇට තේ හැදි බාගයක්.
ලූණු කරිය සාදාගන්නා ආකාරය....
- කබලේ බැදගෙන කුඩුකරගත යුතු මිශ්‍රණයේ ඇති ටික මුලින්ම ගන්න. වියළි තාච්චියක් ලිපේ තියන්න. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරක් දාන්න. දැන් එයට සිහින්ව ලියාගත් පොල් ටික දමන්න. පොල් රන්වන් පැහැයට හැරෙන තුරු කබලේ බදින්න. එයට සූදුරු ඇට ටික දමන්න. විනාඩි 2ක් පමණ බදින්න. දැන් එයට මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු ටික දාන්න. තවත් විනාඩි 4ක් පමණ හැදි ගාමින් කබලේ බදින්න. සියල්ලම බ්ලෙන්ඩරයට දමන්න. විනාඩි 2ක් ග්‍රයින්ඩ් කරන්න. පසුව එයට වතුර කෝප්ප කාල දමන්න. පේස්ට් එකක් හැදෙන තරමට කුඩුකර ගන්න. එය වෙනම පසෙකින් තබාගන්න.
- දැන් මැටි වලදක් ගන්න. එය හොදින් පිසදා ලිපේ තියන්න. රත්වේගෙන එනවිට එයට පොල් තෙල් මේස හැදි 2 ක් දමන්න. එඅය රත්වේගෙන එද්දී එයට රතුලූනු ටික දමන්න. රතුලූනු ලා රන් පැහැයට හැරෙන තෙක් තෙලෙන් බදින්න.
- දැන් එයටම කරපිංචා ටික දමන්න. විනාඩියකට පසු ලියාගත් අමු මිරිස් දමන්න. විනඩියක් බැදෙන්නට දෙන්න.
- දැන් එයට අපි සාදාගත් පොල් පහේ පේස්ට් එක දාන්න. හොදින් මිශ්‍ර කරන්න. විනාඩියකට පසු එයට සියඹලා පේස්ට් එකත් හකුරු පේස්ට් එකත් දමාගන්න. හොදින් මිශ්‍ර කර මෙයටම වතුර කෝප්ප 1 ත් දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමන්න. කරිය එක පාරක් නටන්න දෙන්න. පසුව ලිපේ දැල්ල අඩු කර හට්ටිය වසා අඩු ගින්දරේ විනාඩි 30ක් පිසින්න. ( තෙල් වෙන්වී පෙනෙන තුරුම. )
- පැය බාගයකට පසු වෙනම කුඩා තාච්චියක් ලිපේ තබා එයට පොල් තෙල් මේස හැදි 1 ක් දමන්න. තෙල් රත්වීගෙන එද්දී එයට අබ, සූදුරු, කරපිංචා , වියළි මිරිස් කරල් සහ කපාගත් පොල් කෑලි දමන්න. විනාඩි 2ක් 3ක් බැදලා තෙලුත් සමගම පිසගත් ලූනු කරිය උඩින් දමන්න.
- වසා තබන්න. කෑමට ගත යුත්තේ කරිය පිසීමෙන් අඩුම තරමේ පැයකට පසුවය.
Comments
Post a Comment